Friday, July 28, 2017

මොනවද? මේ IP Ratings...


IP Rating හෙවත් International Protection Rating කියන්නේ ඉලක්කම් දෙකකින් යුතු අංකයක්...අපිට මෙය භාවිතයෙන් ඔයාගේ Smart Phone එක වගේම Smart wears, Tablets, Laptop එක හා ඔයාගේ CCTV කැමරාව වගේ බොහෝ උපකරණ දුවිල්ලෙන් සහ ජලයෙන් කොතරම් දුරට ආරක්ෂිත ද යන කාරණය දැනගන්න පුලුවන්. මෑත කාලයේ නිපදවන බොහොමයක් Smart Phone සහ Tech Gadgets ආශ්‍රිතව මෙම IP Ratings අඩංගු නිසා මේ පිළිබඳව දැනුවත් විම අද දවසෙ ඔබට බොහෝ සෙයින් වටිනවා.



IP Rating එකක් එන්නෙ අංක 2ක් විදිහට.
මෙහිදී පළමු අංකයෙන් ඔයාගේ Device එක දුවිල්ලෙන් කොතරම් දුරට ආරක්ෂිතද සහ දෙවැනි අංකයෙන් ඔබගේ Device එක ජලයෙන් කොතරම් දුරට ආරක්ෂිතද කියන කාරණය මෙන්ම ජලය සමඟ භාවිතා කළ හැකි සීමාව පෙන්නුම් කරනවා.

උදාහරණයක් ලෙස SAMSUNG GALAXY Note 7 දුරකථනය IP 68 තත්වයේ තියෙන එකක්. iPhone 7 දුරකථනය IP 67  තත්වයේ එකක්. Sony Z5 දුරකථනය  IP 65 තත්වයෙන් සහ IP 68 කියන තත්ව දෙකෙන්ම යුතු එකක්. දැන් අපි බලමු මේ ඉලක්කම් වලින් කියවෙන්නෙ මොනවද කියලා. ඒ සඳහා අපිට අන්තර්ජාතික වශයෙන් සම්මතව නිකුත් කර ඇති මෙවැනි Chart එකක් උපයෝගී කරගන්න පුලුවන්.


ඔබ දැනටමත් දන්නවා IP අගයක් පැමිණෙන්නේ ඉලක්කම් 2කින් යුක්තව බවත් එහි පළමු ඉලක්කමෙන් ඔබ භාවිතා කරන උපකරණය සඳහා දුවිලි වැනි ඝන ද්‍රව්‍ය වලින් ඇති ආරක්ෂාව සහ දෙවන ඉලක්කමෙන් ජලය වැනි දියර වලින් ඇති ආරක්ෂාව සංකේතවත් කරන බව.
දැන් අපි බලමු  මොනවද මේ අගයන් වලින් කියැවෙන්නෙ කියලා.

IP XX කියල තියෙනවනම් එයින් කියැවෙන්නෙ දුවිල්ලෙන් සහ ජලයෙන් කොතරම් දුරට ආරක්ෂිතද  කියන එක තවමත් පරික්ෂා කර නොමැති බවයි.

IP 00 කියන්නේ මෙය දුවිල්ලෙන් සහ ජලයෙන් කිසිසේත්ම ආරක්‍ෂිත නැහැ කියන එකයි.

ඉස්සෙල්ලම‍ දුවිලි(ඝන ද්‍රව්‍ය ) වල ආරක්ෂාව පෙන්වන පළමු තීරුවේ අංක වලින් ප්‍රකාශ කරනු ලබන්නේ මොනවාදැයි සොයා බලමු.

 1 - අතක් දැමිය හැකි තරමේ විශාල සිදුරු පවතී.(50mm පමණ විශාල සිදුරු)
2 - ඇඟිල්ලක් දැමිය තරමේ විශාල සිදුරු පවතී. (12mm පමණ විශාල සිදුරු)
3 - පොඩි ඉස්කුරුප්පු නියනක් දැමිය හැකි තරමේ විශාල සිදුරු පවතී. (2.5mm පමණ විශාල සිදුරු)
4 - පොඩි වයරයක් දැමිය හැකි තරමේ කුඩා සිදුරු පවතී. (1mm පමණ කුඩා සිදුරු)
5 - කුඩා වැලි කැට ආදිය ඇතුලු වීමෙන් ආරක්ෂිතයි.
6 - දුවිල්ලෙන් සම්පුර්ණයෙන්ම ආරක්ෂිතයි. (පොඩ්ඩක්වත් දුවිලි නොයයි )

දැන් ජලයෙන්(ද්‍රව වලින්) ඇති ආරක්ෂාව පෙන්වන දෙවන තීරුවේ අංක වලින් ප්‍රකාශ වන අදහස් මොනවාදැයි සොයා බලමු.

1 - ඍජුව වැටෙන ජල බිංදු වලින් ආරක්ෂිතයි.
2 - අංශක 15ක අනතියකින් වැටෙන ජල බිඳු වලින් පවා ආරක්ෂිතයි.
3 - අංශක 60ක අනතියකින් වැටෙන ජල බිඳු වලින් පවා ආරක්ෂිතයි.
4 - සෑම දිශාවකින්ම වැටෙන ජල බිඳු වලින් පවා ආරක්ෂිතයි.
5 - අඩු පීඩනයක් සහිතව වැටෙන ජල පහරකින් පවා ආරක්ෂිතයි. (කුඩා නොසලයකින් වතුර විදීම වැනි)
6 - තරමක විශාල ජල පීඩනයකට පවා ඔරොත්තු දෙයි. (ටැප් එකකින් වැටෙන ජල පහර වැනි)
7 - සම්පුර්ණයෙන්ම ජලය තුල ගිල්වා තැබිය හැකියි. (1m ක් ගැඹුර ජලයේ මිනිත්තු 30ක් පමණ)
8 - සම්පුර්ණයෙන්ම ජලය තුල ගිල්වා තැබිය හැකියි. ( 1m කට වඩා ගැඹුරකට ගෙනයා හැකි මෙන්ම මිනිත්තු 30කට වැඩි ප්‍රමාණයක් ජලය තුල ගිල්වා තැබිය හැකියි. මෙහිදී උපරිම ගෙනයා හැකි ගැඹුර සහ එය ජලය තුල තබගත හැකි උපරිම කාල සිමාව අදාළ උපකරණය නිකුත් කරන සමාගම විසින් සඳහන් කල යුතුයි.)

අපි දැන් මෙය උදාහරණ මඟින් තව දුරටත් පැහැදිළි කර ගනිමු.

  1. iPhone 7 දුරකථනය IP67 තත්වයේ පවතී.  මෙහි පළමු අංකය 6 නිසා එය සම්පුර්ණයෙන්ම දුවිලි ආදියෙන් ආරක්ෂිතයි. මෙහි දෙවන අංකය 7 නිසා එය 1mක් පමණ ගැඹුර ජලයේ මිනිත්තු 30ක පමණ කාලයක් තැබිය හැකියි. මෙම තත්වයන් මෙම දුරකථනයේ අඩංගු නිසා iPhone 7 දුරකථනයක් වතුර පිරවූ සින්ක් එකක් තුලට බාත් ටබ් එකක් තුලට වැටුනත් එමඟින් දුරකතනයට කිසිදු හානියක් සිදු නොවේ.
  2. SAMSUNG GALAXY Note 7 දුරකථනය IP68 තත්වයේ පවතී. මෙහිද පළමු අංකය 6 නිසා එය දුවිල්ලෙන් සම්පුර්ණයෙන්ම ආරක්ෂිතයි. මෙහි දෙවන අංකය 8 නිසා මීටර් 1කට වඩා ගැඹුරු ජලයේ විනාඩි 30කට වඩා වැඩි කාලයක් තැබිය හැකියි. එම නිසා මෙම තත්වයේ දුරකථනයක් පිහිනුම් තටාකයකට හෝ කුඩා ජලාශයකට වැටුනත් එමඟින් දුරකථනයට කිසිදු හානියක් සිදු නොවේ.
සැ,යු. IP67, IP68 තත්වයේ දුරකථන ජලය තුල යම් කාලයක් ගිල්වා තැබිය හැකි වුවත් එය ජලය තුලදී Buttons ඔබමින් භාවිතා කිරීම දුරකථන සමාගම් වලින් කිසිසේත්ම අනුමත නොකරයි. නමුත් විවිධ සිමාවන් තුල එය ජලය තුල භාවිතාකළ හැකිනම් එය අනිවාර්යයෙන්ම දුරකථනය මිලදී ගැනීමේදී ඔබට ලැබෙන manual එකේ සඳහන් කරයි. ඔබ හිතුමතේ ජලය තුල එය ක්‍රියාකර යම්කිසි අනතුරක් දුරකථනයට සිදු කරගතහොත් ඒ සඳහා දුරකථන සමාගම කිසිදු අකරයක වගකීමක් දරන්නේ නැත.

Sony Z5 දුරකථනයේ IP65, IP68 යන තත්වයන් දෙකම පවතීන නිසා මෙය සම්පුර්ණයෙන්ම දුවිල්ලෙන් ආරක්‍ෂිතයි. මෙහි දෙවන ඉලක්කම ලෙස 5 පවතින නිසා එය අඩු පීඩනයක් යටතේ වැටෙන ජල පහරකට පවා ඔරොත්තු දෙනවා මෙන්ම ආපසු දෙවන ඉලක්කම ලෙස 8 පවතින නිසා එය ජලය තුල ගිලීමෙන් පවා සම්පුර්ණයෙන් ආරක්‍ෂිත වේ. 
 අපි මෙහිදී දැනගතයුතු විශේෂ කාරණාව නම්. යම් කිසි දුරකථනයක් හෝ වෙනත් උපකරණයක් IP67, IP68 තත්වයේ පැවතුනද, එය තුල IP65, IP66 තත්වයන් අන්තර්ගත කර නොමැති බවයි. නමුත් එහි විශේෂ තත්වයන් දෙක තුනක් පවතින්නේ නම් එයද වෙන වෙනම IP අගයක් මඟින් දක්වයි.
 
දුරකථනයක ඉතත තත්වයන් පරික්ෂා කරන අන්දම නැරඹීමට පහත වීඩියෝව Click කරන්න.




Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host